Tuesday, November 16, 2010

මියෙන පෙම්වතිය...


   මරණය කියන්නෙ හැමෝටම පොදු,කොයි මොහොතක හරි මුහුණ දෙන්න වෙන දෙයක්.ඒකෙ පුදුම වෙන්න දෙයක් නැහැ.නමුත් පෘථග්ජන මිනිස්සුන්ට තවත් කෙනෙක්ගෙ මරණයක් දැඩි වේදනාවක් ගේනවා,සමහර වෙලාවට.යෞවන ප්‍රේමයේ මිහිර  'මරණයෙ' සෙවණැලි වලින් වැහිලා යද්දි පෙම්වතෙකුට දැනෙන සිතුවිලි මේ කවියට කමටහන් උනා. .

පිණි බිඳක් නම් දිවිය,තණ පතක් මත රැඳුන
පෙර'ඹරින් හිරු නැගෙන විටයි මිය යා යුත්තෙ
බොහෝ හෝරා ඇතත් ඒ මොහොත එලඹෙන්න
අවසාන තත්පරය කරා ඔබ පැමිණ ඇත

සේලයින් කටු ඇනී රිදුම් දෙන ලේ නහර
වෙද නලාවෙන් නිතර තැලී යන පයෝදර
සිනාසුන නෙත් වලට කඳුළු බිඳු ගෙනෙන'යුරු
මමද කඳුලැළි පිරුණු නෙත් වලින් බලා ඉමි

රතු පාට රුධිර අණු සුදු බවට හැරෙන්නේ,
ඔබේ නිල්මිණි ඇසේ දීප්තිය අරගෙනයි
ඔබේ නාදලු පාට තොලේ රත අරගෙනයි
පිල් කලඹ සේ දුලන කියොඹුවැල් අරගෙනයි
ඔබේ හදවත ගැහෙන ප්‍රාණ රැලි අරගෙනයි
මගේ හදවත ගැහෙන ප්‍රාණ රැලි අරගෙනයි

සසර සහිරා කතර තරු ලකුණු මං දිගේ
ඇවිදිමින් යනෙන'තර,සොඳුර අපි හමු උනෙමු
මේ ගිමන් තිප්පොලෙන් සමුගන්න කල් ඇවිත්
උදා වී ඇත ඉතින් අවසාන නිමේෂය

සුදු පාට පබළු මුතු මාලයක් ගෙල දමා
මිනී පෙට්ටියක ඔබ සැතපෙනා'යුරු මැවේ
මේ අසන් පෙම්වතිය එපා ඔබ මිය යන්න
මහත් ආයාසයෙන් තවත් හුස්මක් ගන්න....

Tuesday, November 9, 2010

මින්නේරියේ සැඳෑවක් . . .

ජීවිතේ අපි හැමෝටම අමතක නොවෙන අත්දැකීම් තියෙනවා.අපේ විජිතලගෙ පොළොන්නරුවෙ ගෙදර ගිය එකත් එහෙම අත්දැකීමක් උනා ඒ ගමන ගිය හැමෝටම.මින්නේරිය වැව් ඉස්මත්තෙ තියෙන ඒ ගෙදර නැවතිලා මුළු සති අන්තෙම සැහැල්ලුවෙන් ගත කරා.
මුළු වැවම රිදී පාට වෙලා තිබුනෙ හරියට චිත්‍රයක් වගේ.අවට පරිසරයේ සමහර දේවල් මේ කවියට ඇතුල් වෙලා තිබුනත් මේකෙ නැති ගොඩක් දේවල් මින්නේරියෙ ගමේ තිබුනා.පාරවල් හැදිලා,ලයිට් හම්බෙලා තරුණ අය අන්තර්ජාලයට හුරු වෙලා හිටියත් කුමාරගම මහත්තයගෙ කවි වල එන අතැම් චරිත එහෙ තාම ජීවමානව ඉන්නවා.
මේක අව්‍යාජත්වය,බොරුව විසින් වහලා දාන කාලයක්.හැම තැනම එහෙම‍යි.මින්නේරිය ගමන විශේෂ වෙන්නෙත්,රසවත් වෙන්නෙත් ,අමතක නොවෙන්නෙත් තාම ගොඩක් වටිනා  "අව්‍යාජත්වයේ" නටබුන් හරි එහෙ ඉතුරු වෙල තියෙන නිසා.
මේ අපේ මින්නේරි ගමන ගැන ලියපු කවියක්......


ගිලෙන ඉරෙන් පෙරෙන එළිය වැව් දිය මත                වැටී
රිදී පාට පබලු කරයි ඉපිලෙන පෙන                           කැටී
මින්නේරිය හිරු මිය යන හැන්දෑවක                           හැටී
අඳින දසුන නෙතට ප්‍රියයි,සිත්තමකට                           වටී

සුතන'ඹු සාගිනි නිවුමට ඈතට                               නික්මුන
තෙප්පම් පෙළ වළං කටුය දිය මත                         පාවෙන
හබලයි වතුරයි එක් වී නංවන                                  ගායන
තුරල් කරයි ඇබින්දකට විඩාව                              මෝරන

පහළ බලමි වෑ කන්දෙන් යායම නිල්                         පාටයි
සැඳෑ සුලං ඇඟේ වැදී ගොයම් පොකුරු                   නලියයි
ගොවි රජ වරු රන් පොලවට දාදිය බිඳු                     වගුරයි
ඒ දැක පොඩි ගොයම් පොකුරු හිනැහි හිනැහි             පූදියි

 ගමේ සුවඳ සොඳුරු මිහිර තවමත් මෙහි                        ඇත
දුටු දුටුවන් හිත පාදා තුටු කරවයි                                   හිත
රෝග බියෙන් වලකාලන ගමේ සියලු                           සත
නොපෙනෙන නොදැනෙන බලයක් මෙහි පැතිරී          ඇත

එක එල්ලේ ඇවිදන් යමි වෑ කන්ඩිය                             දිගේ
හාත් පසම අඳුරු රෙද්ද පොරවාගෙන                          ඇඟේ
නුග ගහ ලඟ දේවාලෙන් පහන් සිලක්                         නැගේ
මින්නේරිය දේව එලිය එය යැයි මට                             හිතේ

Saturday, November 6, 2010

නොලැබීම...


වෙරළට පෙමින් බැඳි 
රළ පහර නුඹ හට
හැකි නොවෙද 
සිපගන්න
කෙදින හෝ
වැලි කොපුල්...

දැවි දැවී දැවි දැවී 
එළිය දෙන දිනින්දෝ
උඹත් හැන්දෑ වෙද්දි
මුහුදු ලය මදුල්ලේ
නිවී සැනහෙනවානෙ...



කුමුදු මල පතා එන
මුදු මොලොක් සඳ කිරණ
ඔබ මියෙන්නෙත් ඇගේ
සුපුෂ්පිත පෙති මතනෙ....


කැළේ ගස් වල ඉඳන් 
කී ගාන රැහැයියෝ
උඹේ ගොරහැඬි හඬින්
නීරස දුක් ගීය 
උඹත් කෑ ගහනවනෙ...


සිහින් විය සිදුරකින් 
ආකහේ එලි සොයන,
කණකැස්බෑවො
කල්ප ගානකින් හරි
උඹේ නෙත ඒ එළිය 
දකිනවනෙ...


ඉතින් මේ බලාපන්,
ඇගේ එක කටහඬක්
මගේ සවනට දෙන්න 
ඈ කැමති නැති හැටි....
කාලකණ්නි වසන්තය
ඉරි තැලී , කෘශව
වියලී යන හැටි.....


෴ආමන්ත්‍රණය...෴

න්ද්‍රාලෝකය...මම බ්ලොග් එකක් පටන් ගත්තා.මෙච්චර කල් පුරුදු වෙල හිටියෙ පොතක්,පෑනක් එක්ක ගනුදෙනු කරන්න.සයිබර් අවකාශය හැමෝම එක්ක එකතු වෙන්න අපූරු තැනක්.මට හිතෙන දේවල් මං මෙතන්ට ගේනවා.ගද්‍ය,පද්‍ය මාධ්‍ය විදියට අරගෙන,මගේ එදිනෙදා ජීවිතෙදී මට හම්බෙන සිද්ධි,චරිත හා මගේම සිතුවිලි මං ප්‍රකාශ කරනවා.
න්ද්‍රාලෝකය...නො එසේනම් සඳ එළිය, සහෘද ඔබට මිහිරක් ,සෞන්දර්යයක් වේවි කියල හිතනවා.හැඳින්වීම එච්චරයි.