Tuesday, November 16, 2010

මියෙන පෙම්වතිය...


   මරණය කියන්නෙ හැමෝටම පොදු,කොයි මොහොතක හරි මුහුණ දෙන්න වෙන දෙයක්.ඒකෙ පුදුම වෙන්න දෙයක් නැහැ.නමුත් පෘථග්ජන මිනිස්සුන්ට තවත් කෙනෙක්ගෙ මරණයක් දැඩි වේදනාවක් ගේනවා,සමහර වෙලාවට.යෞවන ප්‍රේමයේ මිහිර  'මරණයෙ' සෙවණැලි වලින් වැහිලා යද්දි පෙම්වතෙකුට දැනෙන සිතුවිලි මේ කවියට කමටහන් උනා. .

පිණි බිඳක් නම් දිවිය,තණ පතක් මත රැඳුන
පෙර'ඹරින් හිරු නැගෙන විටයි මිය යා යුත්තෙ
බොහෝ හෝරා ඇතත් ඒ මොහොත එලඹෙන්න
අවසාන තත්පරය කරා ඔබ පැමිණ ඇත

සේලයින් කටු ඇනී රිදුම් දෙන ලේ නහර
වෙද නලාවෙන් නිතර තැලී යන පයෝදර
සිනාසුන නෙත් වලට කඳුළු බිඳු ගෙනෙන'යුරු
මමද කඳුලැළි පිරුණු නෙත් වලින් බලා ඉමි

රතු පාට රුධිර අණු සුදු බවට හැරෙන්නේ,
ඔබේ නිල්මිණි ඇසේ දීප්තිය අරගෙනයි
ඔබේ නාදලු පාට තොලේ රත අරගෙනයි
පිල් කලඹ සේ දුලන කියොඹුවැල් අරගෙනයි
ඔබේ හදවත ගැහෙන ප්‍රාණ රැලි අරගෙනයි
මගේ හදවත ගැහෙන ප්‍රාණ රැලි අරගෙනයි

සසර සහිරා කතර තරු ලකුණු මං දිගේ
ඇවිදිමින් යනෙන'තර,සොඳුර අපි හමු උනෙමු
මේ ගිමන් තිප්පොලෙන් සමුගන්න කල් ඇවිත්
උදා වී ඇත ඉතින් අවසාන නිමේෂය

සුදු පාට පබළු මුතු මාලයක් ගෙල දමා
මිනී පෙට්ටියක ඔබ සැතපෙනා'යුරු මැවේ
මේ අසන් පෙම්වතිය එපා ඔබ මිය යන්න
මහත් ආයාසයෙන් තවත් හුස්මක් ගන්න....

2 comments:

  1. මට ඇඞැන්ට එනවා ඛන්...............

    ReplyDelete
  2. නියමයි මල්ලි !!!! එල වැඩක් !!! දිගටම ලියන්න අපි කියවනවා එල එල !!!!

    ReplyDelete